
(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
රත්නපුර සිට මාදම්පේ රක්වාන දෙනියාය හරහා ගාල්ල දක්වා දිවෙන ඒ 17 මාර්ගයට නෑදොළ කිරිමැටිතැන්න ප්‍රදේශයෙදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය අද( 19) වනවිටත් ඇනහිට තිබූ බව කොලොන්න පොලීසිය පවසයි.
රත්නපුර සිට රක්වාන සූරියකන්ද හරහා දෙනියාය දක්වා මගී ප්‍රවාහන බස් රථ ඇලු වාහන සිය ගණනක් මෙම මාර්ගයේ දිනකට ගමන් කරයි. කඩාවැටුණු පස් කන්ද නිසා මාර්ගයේ අඩි හතළිහක පමණ වූ කොටසක් පසුවලින් යටවී ඇති බව ද පොලීසිය පැවසුවේය.
සිංහරාජ කඳුවැටියට 18දා සවස අධික වැසි ඇදහැලුනු බවත් ඉන්පසු මෙම පස් කන්ද කඩාවැටෙන්නට ඇතැයි පොලීසිය සැකකරයි. පස්කන්ද කඩා වැටීමෙන් ජිවිත හානි කිසිවක් නැති බවද පොලිසිය පැවසුවේය.
මාරගයේ අවහිරතා ඉවත්කිරිම 19දා පෙරවරුවේ ආරම්භ කළ අතර එදින සවස 02.00 පමණ වනවිටත් කඩාවැටුණු පස් ඉවත්කර ගමනාගමනය යඝා තත්ත්වයට පත් කළ නොහැකිවූ බව ද පොලිසිය පැවසුවේය.
මේ සම්බන්‍ධයෙන් 19දා පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික්ක ආපදා කළමනාකාරණ සහකාර අධ්‍යක්‍ෂ මුදිත මංජුල මහතාගෙන් විමසු අවස්ථාවේ ඔහු පැවසුවේ මාර්ගයට කඩාවැටුණු පස් පැය භාගයක් තුල ඉවත්කර ගමනාගමනය යථා තත්ත්වයට පත්කරන බවයි.
එහෙත් පැය දොළහකට වැඩි කාලයක් තිස්සේ ගමනාගමනය ඇණහිටිම නිසා එම මාර්ගයේ ගමන් කිරිමට පැමිණි වාහන විකල්ප මාර්ග ඔස්සේ දෙනියාය සහ සුරියකන්ද දෙසට ධාවනය කිරිමට උපදෙස් දුන් බව කොලොන්න පොලිසිය පැවසුවේය.

